Tuesday 13 December 2011

සිරීපාදේ අභිනව නායක හාමුදුරුවන් වෙතටයි

 සිරීපාද වාරය පටන්  ගත්තා. සිරීපාදේ නායක කමට අලුතින් පත් වුනු පැල්මඩුල්ල පන්සලේ ධම්මදින්න හාමුදුරුවෝ ලොකු පෙරහරක් සංවිධානය කරලා මෙදා පාර සිරිපා වාරය ආරම්භ කළා.

සිරීපාදේ නායක කමට පහුගියදා රත්නපුරේ තිබුනේ චන්දයක් නෙමෙයි යුද්ධයක්. ආණ්ඩුවේ හයිය, මුදල් හයිය. ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ හයිය, මැර හයිය  ආදී සියල්ල තිබුණු ධම්මදින්න හාමුදුරුවෝ දිනුවා. පැරදුනු සීලානන්ද හාමුදුරුවෝ මුදල් අක්‍රමිකතා චෝදනාවකට සැකපිට  අත් අඩංගුවට පත් උනා. ධම්ම දින්න හාමුදුරුවන්ට ජනාධිපති  තුමාගේ සහයෝගය එළිපිටම ලැබෙනවා කියල පෙනුනහම  රත්නපුරේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයොත් ධම්ම දින්න හාමුදුරුවන්ට පැන පැන සහයෝගය දෙන්න පටන් ගත්තා. ලංකාවේ ඉන්න අශික්කිතම දේශපාලකයා වන මර්වින්  සිල්වාත් රත්නපුරේට ගෙන්වාගෙන ගඳ ගස්සවගෙනයි  වැඩේ ඉවරයක් වුනේ.

මේ තනතුර අත් පත් කර ගන්න රත්නපුරේ හාමුදුරුවරු අතර  තියෙන්නේ පුදුමාකාර බල පොරයක්. ඒකට හේතුව සිරීපාදේට අයිති අක්කර දහස් ගණනක නින්දගම් කිහිපයක් පාලනය කිරීමේ බලය නායක කම ගන්න හාමුදුරුවන්ට ලැබීමයි. ඉස්සර හිටපු නායක හාමුදුරුවරු මේ නින්දගම් පාලනය කරමින් ධනය ගොඩ ගැසුව මිස සිරීපාදේ දියුණුවට මොකවත්  කලේ නැහැ.

පරාදවෙලා හිරෙත් යන්නට සිද්ධ වුනු  සීලානන්ද හාමුදුරුවන්ට ඇපදීල එලියට එන වෙලාවේ ගොඩකවෙල පන්සලේ සුසීල හාමුදුරුවෝ ලොකු ආඩපාලියක් කිවුවා දේශපාලකයන්ට විරුද්ධව.

සුසීල හාමුදුරුවෝ කියන්නේ ඉස්සර මේ චන්දෙ පිරිසිදුව කෙරුනලු. සුසීල හාමුදුරුවන්ට  අතීතේ අමතක වෙලා.

මේ පදවියේ ඉස්සෙල්ල හිටපු කිරි ඇල්ලේ පන්සලේ විමල හාමුදුරුවොත් පත් උනේ දූෂිත චන්දයකින්. ඒ කාලේ  මර බලය පාවිච්චි කලේ නැතුවට අල්ලස් බලය උපරිම විධියට පාවිච්චි කළා.
ධම්මදින්න හාමුදුරුවෝ කලේ මැර බලය අලුතින් එකතු කළ එක විතරයි.

 රත්නපුරේ හිටපු විශිෂ්ට පඬි රුවනක් වුනු කිරි ඇල්ලේ ඤනවිමල හාමුදුරුවන්ටත් මේ බල පොරයෙන් ගැලවෙන්න  බැරි වුනා. උන්වහන්සේට  සිරීපාදේ නායක කම නොලැබුණු  දුකට පිස්සු හැදුනා. අපවත් වුනෙත් ඒ පිස්සුවෙන්මයි. ඉතින්  ඒ වගේ පඬි රුවනකටත් එහෙම උනා නම් උන්වහන්සේගේ මයිලක් තරම්වත් වටින්නේ නැති මේ අවශේෂ වහන්සේලාගේ කෙලෙස් රැස්කෙරීමේ ආශාව ගැන කවර කතාද ?
අලුතින් පත්වුණු නායක හාමුදුරුවන්ට අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි.

හාමුදුරුවනේ  මේ තනතුරට ඔබවහන්සේ පත් උනත් වෙන කෙනෙකුන් පත්වුනත් අපට එච්චර ගානක් නැහැ .
නමුත් ඔබ වහන්සේට ඇති තරම් සල්ලිතියෙනවා.අලුතින් සිරීපාදෙන් හම්බ කරගන්න දෙයක් නැහැ.එම නිසා සිරීපාදෙටයි පැල්මඩුල්ල  පන්සලටයි අයිති නින්ද ගම්වල අනවසර පදිංචි කාරයෝ හැටියට තේ අක්කරයක් බාගයක් වවාගෙන දරු පවුල් රස්සා කරගෙන ඉන්න දුප්පත් මිනිස්සුන්ට 
ඒ ඉඩම් කට්ටි ටික සාධාරණ ක්‍රමයකට බෙදල දෙන්න

 මර්වින සිල්වා වගේ මැරයෝ ගෙන්නලා චන්දෙ දින ගෙන නැති කර ගත්ත ගව්රවය ටිකක්  හරි නැවත ලබා ගන්න පුළුවන් වේවි.

Monday 12 December 2011

සකර් ගැහිල්ල

රත්නපුරේ කුරුවිට සකර් ගහල කරන මැණික් ගරිල්ලක් පොලිසියෙන් අල්ලලා තිබුණා. මේ සකර් ගැහිල්ල නීති විරෝධීයි. මේකේ සිදුවන පාරිසරික හානිය අති විශාලයි. සම්ප්‍රදායික ක්‍රමයේ මැණික් ගැරීම වගේ නෙමෙයි මේ කරන්නේ කිකිලිගේ බඩ පළල රත්තරන් බිත්තර ඔක්කොම එක පාරටම ගන්න හදනවා වගේ වැඩක්.

ඉඳල හිටලා පොලිසියෙන් සකර් මැෂින් එකක් දෙකක්  අත් අඩංගුවට ගත්තත් මේ නීති විරෝධී ජාවාරම මහා දවාලේ  එළිපිටම කෙරෙනවා. මේක කරන්නේ රත්නපුරේ ඉන්න දේශපාලන නායකයන්ගේ පූර්ණ අනුග්‍රහයෙන්. සමහර දේශපාලකයෝ කෙලින්ම මේ ජාවාරම අතට අරගෙන තියෙනවා. රත්නපුරේ  මහජන නියෝජන ආයතනවලට පත්වෙලා ඉන්න නායකයෝ ඔක්කොම වගේ (වාසුදේව වගේ කෙනෙක් හැරුණු කොට ) බිස්නස් කාරයෝ. හොර මැණික් ජාවාරම් වලට කොහෙන් හරි සමබන්ද උදවියයි .

 ලෝකයේ ඉස්තරම්ම මැණික් රත්නපුරෙන් හම්බ වුනත් රටක් හැටියට අපට බැරි උනා ලෝකයේ මැණික් වෙළඳ පොළ අල්ල ගන්න.ලෝක මැණික් වෙළඳ පොළක් රත්නපුරේ බැරිනම් අඩුම තරමින් කොළඹ හරි පිහිටුවා ගන්න අපට පුළුවන් උනා නම් හොර පාරේ රටින් පිටට යන විශාල ධනස්කන්ධයක් රටට ඉතුරු කර ගන්න තිබුණා. නමුත් මේ ගැන රත්නපුරෙන් ඉහලට ආපු කිසිම නායකයෙක් නායිකාවක් උනන්දු වුනේ නැහැ. ඒ වෙනු වට ඒ අය කලේ කොහොම හරි ජාවාරමට සම්බන්ධ වෙලා තමන්ට කුට්ටියක් කඩාගන්න එකයි.මුළු රත්නපුරේම හැම අතින්ම දියුණු කරන්නට අවශ්‍ය මූල  ධනය මේ පොලවෙන්ම  ගොඩ අරගෙන තිබුණා. නමුත් ඒ හිමිකම මිනිස්සුන්ට ලබා දෙන්න මේ නායකයන්ට   බැරි වුණා.

රත්නපුරේ මිනිස්සුන්ට තමන්  පෙලන මේ දුෂ්ට චක්‍රය ගැන වැටහීමක් නැහැ. ඉතින් ඒ මිනිස්සු ඊළඟ මැතිවරණයේදීත් නායකයෝ කියල හිනාව දාගෙන ඉස්සරහට එන මේ ගොබ්බයන්ට සහ ගොබ්බියන්ට  චන්දෙ දෙයි.

Sunday 11 December 2011

ඇවිද්ද තරමට තමයි හති! කියනවනේ

කළුවා ළමයින්ට උගන්වන්නේ ගණිතය. රත්නපුරේ හිටපු පරණ හොඳ ගණිත ගුරුවරු කිහිප දෙනෙක්ම ආස්සරය කරන්නට කළුවට අවස්ථාව ලැබුනා. ඒ අයගෙන් ලබා ගත්ත ශිල්පයයි කලුවම නිර්මාණය කරගත්ත විධි ක්‍රම ටිකකුයි මිශ්‍ර කරලා කළුවා ටිකක් අමුතු විධිහට ගණිතය උගන්වන්නට පටන් ගත්තා. වැඩේ නැගල  ගියා. ගණිතය වහ කදුරු වෙලා හිටපු ළමයි ගොඩක් අලුත් උනන්දුවකින් යුතුව ඉගෙන ගන්න පටන් ගත්තා. කලුවත් ටිකක් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා.
 
ඔන්න කලුවටත් සුපුරුදු යෝජනාව අවා.
 
 'නරකද ටියුෂන්  පන්තියක්  ගත්තොත්'?
 'ඉස්කෝලේ ලමයින්ගෙන්ම පටන්ගන්න.' 
'පස්සේ අනික් ඉස්කෝලවල ළමයිනුත් එන්න පටන් ගනියි'
 'ඔයාට පුළුවන් ටියුෂන් අධිරාජ්ජයම හොල්ලන්න'
ඔහොම තමයි ගුරු කාමරයේ හිටපු කලුවගේ අනිත් ගුරු යාලු යෙහෙළියෝ කිව්වේ.
 
කළුවා කියන්නේ ප්‍රීතිමත් ගුරුවරයෙක්.
 ලැබෙන පඩිය හොදටම ඇති.
ඉතින් ඒ සුහද යෝජනා ඔක්කොම සුහද සිතින්ම කළුවා  බැහැර කලා.
ටියුෂන් යුද්දේ ඒ කරන අයටම කරගන්න දීල කළුවා හිතුවා නිකන් ඉන්න වෙලාවට සමන්  දෙවියන්ගේ අඩවියේ හැම තැනම රස්තියාදු ගහන්න.
 
ලොකු කුඩා නගර වල, කඩ මන්ඩි වල, පන්සල් කෝවිල් වල, පතල් පොලවල්වල, පන්සල් කෝවිල් වල තේ රබර් වතුවල, කදු ගංගා නිම්න වල කළුවා ගොඩක් ඇවිදින්න තීරණය කලා.
 
ඇවිද්ද තරමට තමයි හති! කියනවනේ  
ඒ හති වැටීම අකුරු වලට පරිවර්තනය වෙලා මේ බ්ලොග් අඩවියෙන් ඉස්සරහට දකින්න ලැබෙයි. 
 
 
 

සමන් දෙවි අඩවියේ බ්ලොග් අඩවිය

මම කළුවා. ගම මාරපන. කළුවා මාරපන ගිය කතාව ඔබලා අහල ඇති. මේ ඒ කළුවා නොවෙයි. මම ඉපදුනෙම රත්නපුරේ මාරපන කියන ගමේ. පාසල් ගියෙත් මුලින්ම මාරපන. පස්සේ රත්නපුරේ සීවලියේ. වෘත්තියෙන් ගුරුවරයෙක්. උගන්වන්නේ ගණිතය.
කළුවා හිතන්නේ ගෝලීයවයි. වැඩකරන්නේ ප්රාදෙශීයවයි. ඉතින් කළුවා හිතුව ප්‍රාදේශීය බ්ලොග් අඩවියක් අන්තර් ජාලය ඔස්සේ ගෝලීය පාඨකයාට ලබා දෙන්න. හැබැයි මෙතන කිසිම ප්‍රාදේශීය වාදයක් නම් නැහැ. කළුවා තමන්ගේ ඉපදුන ගමට රටට ආදරෙයි. ඒ පමණටම අනිත් අයගේ ඉපදුන ගම් රටවලටත් ආදරෙයි.
සමන් දෙවියන්ගේ අඩවියේ බ්ලොග් අඩවිය කියල මේක පටන් ගත්තේ  සමන් දෙවියෝ රත්නපුරේට විතරක් අයිති කර ගන්න එහෙම නෙමෙයි.
රත්නපුරේ ජන ජීවිතයේ අසිරිය සහ වේදනාව කියන දෙකම  සමස්ත ලෝක ධාතුවේම සිටින බ්ලොග්  අඩවි කියවන හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා සටහන් කර තැබීම තමයි මේ බ්ලොග් අඩවියේ අරමුණ. ඉතින් උනන්දු වන තමුන්නාන්සේලා සියලු දෙනාටමත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් කොමෙන්ටු එහෙම දාල. එහෙනම් ආයුබෝවන් කියල නමෝ විත්තියෙන්ම පටන් ගමු මාරපන කළු පුතාගේ බ්ලොග් කෙරුවාව .